si_uni  ta_uni
TamilEnglish
මුල් පිටුව All News ලෝක පරිසර දිනය 2019
ලෝක පරිසර දිනය 2019

“තිරසර වන කළමනාකරණයක් තුළින් වායු දූෂණය අවම කිරිම”

ජාතික පරිසර සැමරුම් සතිය - 2019 මැයි 30 සිට ජූනි 05

 

1972 වර්ෂයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී පැවති පරිසර සමුළුවේ දී ගන්නා ලද තීරණයකට අනුව බිහි වූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) සමාරම්භක දිනය සැමරීම සඳහා සෑම වසරකම ජුනි මස 05 වන දින ජගත් පරිසර දිනය වශයෙන් නම් කරන ලදී. ඒ අනුව සෑම වසරකම ජුනි 05 වන දින විවිධ කාලීන මාතෘකා පෙරදැරිව ප්‍රකාශයට පත්කරන ලද තේමාවන් යටතේ සියලු රටවල්  ජගත් පරිසර දිනය සමරනු ලබයි. ඒ අනුව 2019 වර්ෂයේ ජගත් පරිසර දින තේමාව වනුයේ, “ තිරසර වන කළමනාකරණයක් තුලින් වායු දූෂණය අවම කිරීම” යන්නයි.

අතිගරු ජනාධිපතිතුමා විසින් 2016 වර්ෂයේදී “ ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන” යන මැයෙන් ඉදිරිපත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව ජගත් පරිසර දිනයට සමගාමීව “ජාතික පරිසර සතියක්” ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2019 වර්ෂයේ මැයි මස 30 සිට ජූනි 05 දක්වා වන සතිය “ජාතික පරිසර සතිය” ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ජූනි 03 දින ජෛවවිවිධත්ව සංරක්ෂණ දිනය ලෙස නම් කර ඇත.

ඒ අනුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජෛවවිවිධත්ව අංශය විසින් ලංකා සුළු ධීවර සම්මේලනය, පම්බල සමඟ එක්ව වෙරළ කලාපයේ පිහිටා ඇති දිස්ත්‍රික්ක වල සේවය කරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් හට කඩොලාන පැළ තවාන් ඇති කිරීම, කඩොලාන විශේෂ හඳුනා ගැනීම සහ එක් එක් ප්‍රදේශ වලට සරිලන පැළ තෝරා ගැනීම යන කරුණු යටතේ එක්දින ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් පම්බල කඩොලාන කෞතුකාගාර පරිශ්‍රයේදී පවත්වන ලදී.

‍අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යයන් අතර කඩොලාන සංරක්ෂණය හා පුනරුත්ථාපනයේ ප්‍රමුඛයා ලෙස ශ්‍රී ලංකාව ක්‍රියා කිරීමට කටයුතු කරන බවට 2018 වර්ෂයේ අප්‍රේල් මස ලන්ඩන් නුවරදී පවත්වන ලද පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයන්ගේ සමුළුවේදී ප්‍රතිඥා දී ඇත. ඒ අනුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය අනෙකුත් අදාල ආයතන හා එක්ව මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා කටයුතු කරමින් පවතී. මෙහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති කඩොලාන පුනරුත්ථාපන වැඩසටහන් සිදු කරගෙන යාමේදී ක්ෂේත්‍රයේ රාජකාරි කටයුතු කරන නිළධාරීන් හට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුවේ සමාරම්භක වැඩසටහන මෙහිදී සිදු කරන ලදී. මෙම වැඩමුළුව 70 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.

 

අවසන් යාවත්කාලීන කිරීම 2019 ජූනි 20 වෙනි බ්‍රහස්පතින්දා, 15:20