si_uni  ta_uni
TamilEnglish
ජාත්‍යන්තර කදුවැටි දිනය සැමරීම - 2013

alt

ජාත්‍යන්තර කදු වැටි දිනය 11 වන වතාවටත් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මගින් 2013 දෙසැම්බර් 17 වන දින සමරන ලදි. මෙසේ කදුවැටි දිනය සැමරීම මගින් දිවි පැවැත්ම සඳහා කදුවැටි වල ඇති වැදගත්කම, කදුවැටි ගොඩනැගීමේදී සිදුවිය හැකි බාධාවන් හා ඒ සඳහා ඇති අවස්ථාවන්, ලෝකය පුරා විහිදී ඇති කදුවැටි සඳහා යහපත් පරිවර්තනයක් සිදුකළ හැකි  බැදීම් ඇතිකරලීම සඳහා වන අවකාශයක් සලසා දෙයි. මෙම කරුණු  සලකා බලා පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මගින් මෙම අවස්ථාව සැමරීම සඳහා එක් දින වැඩමුළුවක්, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා හෝට්න් තැන්නේ මිතුරන්ගේ සහභාගීත්වයෙන්, හෝට්න් තැන්න ජාතික උද්‍යානයේදී පවත්වන ලදී.

මෙම වැඩසටහනෙහි ප්‍රධාන ඉලක්ක කාණ්ඩය නම් හෝට්න් තැන්න ජාතික උද්‍යානය අසල සිටින තේ වගාකරුවන්  හා හෝට්න් තැන්න මිතුරෝ හි සාමාජිකයන්ය. වැවිලිකරුවන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, තේ පර්යේෂණ ආයතනයේ නිලධාරීන්, ජෛව විවිධත්ව සංරක්ෂණ සංගමය හා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය යන ආයතන වලින් 70ක් පමණ දෙනා මෙම වැඩමුළුවට සහභාගී විය.

හෝටන් තැන්න ජාතික උද්‍යානය - ශ්‍රී ලංකාව

හෝටන් තැන්න ජාතික උද්‍යානය මධ්‍යම කදුකරයේ පිහිටා ඇති ලෝක උරුම වනෝද්‍යානයක් වන අතර එය කදුකර තෘණබිම් හා වලාකුළු වනාන්තර වලින් වටවී ඇත. මෙය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති උසම තැනිතලාව වේ. මෙහි උච්චත්වය මීටර් 2100 සිට 2300 (අඩි 6900-7500 ) වේ. ගෝනුන්, වලසුන්, වදුරන් යන සතුන් හා මහාරත්මල්, ඇතැම් ඕකිඩ් හා ගිනිතොට විශේෂ මෙහි දක්නට ලැබෙන සුවිශේෂි විශේෂයන්ය. 

alt

හෝටන් තැන්න ජාතික උද්‍යානය

මෙම ජාතික උද්‍යානයේ මුළු වපසරිය හෙක්ටයාර 3160ක් වන අතර එය දේශීය ජෛව විවිධත්වය අතින් ඉහළම ස්ථානය ලෙස හදුනාගෙන ඇත. එසේම මෙහි හමුවන බොහෝමයක් ජීවී විශේෂ ලංකාවට ආවේණික ලෙස සැලකේ. මෙම ප්‍රදේශය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශ කරනු ලැබූයේ 1988 වර්ෂයේදීය. හෝටන් තැන්න, මහවැලි කැළණි හා වලවේ ගංගා වල ජලාධාර ප්‍රදේශයද වේ. හෝටන් තැන්න මහ එළිය තැන්න ලෙසද සිංහලෙන් ව්‍යවහාර වේ. 

පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ, ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඒ.එච්.එම්.පී. අබේකෝන් මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. ඇය සභාව අමතමින් , තම ක්ෂේත්‍ර අත්දැකීම් හුවමාරු කරගත් අතර , කදුකර ජෛව විවිධත්වයේ වැදගත්කම පැහැදිලි කළාය. එසේම ඇය රටේ කඳුකර ජෛව විවිධත්වය හායනය වීමට තුඩුදෙන තර්ජන හා ගැටලු පිළිබඳව විශේෂ අවධානය යොමු කළාය.  

alt

සහභාගී වූ පිරිස

හෝටන් තැන්න ජාතික උද්‍යානයේ භාරකරු, පියල් රවීන්ද්‍ර කුමාර මහතා හෝටන් තැන්න පිළිබඳ කෙටි විස්තරයක් කළ අතර මීළඟ දේශනය සඳහා පසුබිම මෙමගින් සකසනු ලැබීය. ප්‍රධාන දේශනය ආචාර්ය සුරන්ජන්  ප්‍රනාන්දු මහතා විසින් පවත්වනු ලැබීය. “ජෛව විවිධත්වය සුරකින අතරේම තේ වතු පාලනය කරන්නේ කෙසේද? “ යන්න පිළිබඳව සවිස්තරාත්මකව ඔහු විසින් සාකච්ඡා කරන ලදි. සාකච්ඡාව අතරතුර දේශකයින් විසින් තේ වතු වල ජෛව විවිධත්වය පිළිබඳව පැන නඟින ගැටලු වලට විසදුම් ලබා දෙන ලදි.

අලගල්ල වතු යායේ කළමනාකරු වන විනෝද් සිල්වා මහතා හිමාලය කන්ද තරණයේදී තමා ලද අත්දැකීම් මෙහිදි හුවමාරු කරගන්නා ලදී. හෝටන් තැන්න මිතුරෝ සංගමයේ සභාපති චමින්ද සේනානායක මහතා ස්තූති කථාව පැවැත්වූ අතර එයින් 2013, ජාත්‍යන්තර කදුවැටි දිනය සැමරීමේ උළෙලේ පළමු සැසිය සමාප්ත විය. මෙවැනි වටිනා කාලීන වැඩසටහන් සංවිධානය පිළීබඳ ඔහු ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයට ස්තූති කළ අතර, මෙහිදී ලද අත්දැකීම් තේ වැවිලිකරුවන්ට තම කටයුතු වලදී ඉතා වැදගත් වන බව ප්‍රකාශ කරන ලදී.

දෙවන සැසිය ක්ෂේත්‍ර චාරිකාවක් වූ අතර ඒ සඳහා තෝරාගනු ලැබුයේ ශ්‍රී ලංකාවේ 3 වන උසම කන්ද වන උසින් මීටර් 2357ක (අඩි 7733) තොටුපල කන්දයි. මෙම සැසිය ආචාර්ය සුරන්ජන් ප්‍රනාන්දු මහතා විසින් පවත්වන ලදී. සියලු සහභාගීවූවන්ට කදුකර පරිසර පද්ධති සම්බන්ධ ඉතා හොද අත්දැකීමක් මෙමගින් ලැබුණි. 2013 දෙසැම්බර් මාසය වසර 12කට පසු නෙලු මල් “ Strobilanthus sp: ” පිපෙන අවධිය වූ අතර ඇතැම් ඕකිඩ් විශේෂයන්ද මෙම කාලයේ මල් හටගැනීම සිදුකරනු ලබයි. 

alt

තොටුපල කන්ද සංචාරය අතරතුරේදී

මෙය  හෝට්න් තැන්නේ නෙලු මල් බහුලව පිපෙන සමයකි. මෙම මල් පට්ටිපොල ප්‍රවේශ  ප්‍රදේශය, ඔහිය ප්‍රවේශ ප්‍රදේශය, තොටුපොල හා  බේකර්ස් ඇල්ල අවට දැකගත හැකිය.

alt

     Strobilanthes sexe                              Strobilanthes pulcherrima        Strobilanthes calycina                       Strobilanthes viscosa

තොටුපල කන්ද සංචාරය අතරතුරේදී නෙලු මල් විශේෂ 04ක් පිපී තිබෙනු දැක ගත හැකිවිය. මෙම විශේෂය ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයේ වනාන්තර හා ද්විතික ලදු බිම් වලට සීමා වී ඇත. ශ්‍රී ලංකාවේ නෙලු විශේෂ 31ක් හමුවන අතර එයින් විශේෂ 23ක් ලංකාවට ආවේණික වන අතර විශේෂ 20ක් පමණ කදුකර  ප්‍රදේශ වල හමු වේ.

ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය වෙනුවෙන්, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම් (ස්වභාවික සම්පත්), අධ්‍යක්ෂ (ජෛව විවිධත්ව) යන අයටත්, මධ්‍යම පළාත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හා සහකාර අධ්‍යක්ෂතුමන්ලාටත්, මෙම වැඩසටහන සංවිධානය කිරීමට අවසරය ලබා දීම සම්බන්ධව ස්තූතිවන්ත වන අතර, වැඩසටහනේ සාර්ථකත්වය සඳහා තම වටිනා කාලය මිඩංගු කළ ආචාර්ය සුරන්ජන් ප්‍රනාන්දු මහතා, රජිත ගමගේ මහතා, පියල් මහතා හා සිරිපාල මහතාටද ස්තූතිය පළ කර සිටිමී.

 

සැකසුම හා ඡායා රූප - මනෝජ් ප්‍රසන්න 
ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය
පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය
අවසන් යාවත්කාලීන කිරීම 2014 ජනවාරි 08 වෙනි බදාදා, 09:57