si_uni  ta_uni
TamilEnglish
දූපත් ‍ජෛවවිවිධත්වය

පසුබ්ම

‍ජෛවවිවිධත්ව සම්මුතිය 1994 දී ශ්‍රී ලංකා රජය මඟින් අපරානුමත කරන ලද අතර, පරිසර අමාත්‍යාංශය  එම සම්මුතියේ කේන්ද්‍රස්ථානය වේ. එබැවින් වසරක් පාසා ජෛවවිවිධත්ව ලේකම් කාර්යාලය  මඟින්  අන්තර් ජාතික ජෛව විවිධත්ව දිනය සමරා විවිධ වැඩ සටහන්, ව්‍යාපෘති  හා දැනුවත් වීමේ  වැඩ මුලු ආදිය පැවැත්වේ.

දූපත් හා  එය වට කර ඇති වෙරළාසන්න පරිසර පද්ධති ජෛව විවිධත්වයෙන් අනූනය. මේ පරිසර පද්ධතියේ බොහෝවිට ආවේනික සතත්ව හා ශාක රාශියක් හමුවේ. දුපත් වල පරිණාමික ඉතිහාසය සුවිශේෂි වේ. මේ පරිසර පද්ධතිය මිලියන 600ක පමණ දූපත් වාසීන්ගේ ජීවන රටාව, ආර්ථිකය, සුභසෙත හා සංස්කෘතික උරුමය විදහා පායි.

දූපත් ජෛවවිවිධත්වය සංවේදී වේ. එබැවින් අවුරුදු 400ක කාලයක් අතර වාර්තා වූ වඳ වී ගිය සත්ත්වයන් 724 දෙනා ගෙන් භාගයක් දුපත් විශේෂ වේ. ගෙවී ගිය ශත වර්ෂය තුළ දූපත් ජෛවවිවිධත්වය ආක්‍රමණික ජීවී විශේෂ, පරිසර හායනයට හා අධි පරිහරණය, දේශගුණික විපර්යාස හා පරිසර දූෂණයට මුහුණ දීමට සිදුවේ.මේ පීඩනය විශේෂයෙන් දැනෙන්නේ සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් (Small Island Developing States-SIDS) සඳහාය. මොවුන් ඔවුන්ගේ තිරසර සංවර්ධනය සඳහා දූපත් ජෛවවිවිධත්වයේ තිරසර භාවිතය මත යැපෙති. SIDS ලෙස සලකන දූපත්,

a) අවම සංවර්ධනය වෙමින් පවතින රටවල්

b) ආර්ථික අවධානමක් ඇති

c) ලෝක ‍වෙළඳාම  සඳහා අවම මට්ටමෙන් 0.02.% දායකත්වයක් සපයන

d) මිලියන 1.5ට අඩු ජනගහනයක් සහිත දූපත් විය යුතුය. එනම් සීෂේල්ස්, මාල දිවයින් හා අන්දමන් වැනි දූපත් SIDS ලෙස සලකන නමුත් ශ්‍රී ලංකාව, මැඩගස්කරය වැනි දූපත් SIDS ලෙස නොසැලකේ.

alt

කාලයත් සමඟ හුදකලාව, සුවිශේෂි වූ ජාන නිර්මාණයට පරිණාමය පොලඹවයි. මෙවැනි ජීවීහු විශේෂණය වී නව ජීවීන් ලෙස පරිණාමය වෙති.මොවුහු පසුව නව විශේෂිත ලක්ෂණ දරන ආවේනික ජීවින් බවට පත් වෙති. මහද්වීප වලට වඩා අධික ජීවීන් සංඛ්‍යාවක් දූපත් දරයි. තව ද දූපත් වල  අධික හුදකලා තත්ත්වය, දූපතේ ප්‍රමාණය හා භූ විශමතා විවිධත්වය මත සතුන්ගේ ආවේනිකතා ප්‍රතිශතය ඉහළ වේ. උදාහරණයක් වශයෙන් හවායි දූපත් වල ජීවින්ගේ  ආවේනිකතාවය 90%වඩා ඉහළ වේ. මොරිෂස් දූපතේ සියලුම සපුෂ්ක ශාක, ක්ෂීරපායි, පක්ෂීන්, උරඟයන් හා උභය ජීවීන් ගෙන් 50%ක් පමණ ආවේනික වෙති. සීෂෙල්ස් වල උභය ජීවීන්ගේ ආවේනිකතාව ලෝකයෙන්  ප්‍රථම ස්ථානය ගනී. මැඩගස්කරයේ ආවේනික ජීවීන් 800ක් දැනටත් සිටියි. මෙය උප සහරා අප්‍රිකාවේ (Sub Saharan Africa) වැඩිම ආවේනික ජීවින් වෙසෙන දූපත් වේ.

 

දූපත් ‍ජෛවවිවිධත්වයට ඇති මූලික තර්ජන

1 ආක්‍රමණශීලී විශේෂ - මෙමඟින් ආර්ථික හා පාරිසරික හායනයක් සිදූවේ. දූපත් වල ජීවින් කුඩා, විශේෂිත වූ හා විලෝපීයයන් කෙරෙහි අවම ආරක්ෂණයක් තිබෙන හෙයින් මොවුහු ඉතා ඉක්මනින් ආක්‍රමණ ජීවීන්ට යටපත් වෙති.

2. සංචාරක කර්මාන්තය- මෙය බොහෝ දූපත් වල මූලික ආයෝජනය වේ. එහෙත්, සැලැස්මක් නොමැතිව සිදු කරන සංවර්ධනය හේතුකොට ගෙන 1) යටිතල පහසුකම් මඟින් සුදුසු වාසස්ථාන අහිමි වීම. 2) ප්‍රවාහනය මඟින් ආක්‍රමණශීලී ජීවීන් පැතිරීම. 3)අපද්‍රව්‍ය මඟින් වාසස්ථානහායනය වීම. 4)විනෝදාස්වාදය සඳහා සිදු කරන ක්‍රියාකාරකම් මඟින් ජීවින්ගේ වාසස්ථාන විනාශ වීම.

3) දේශගුණික විපර්යාසයන් - දේශගුණික විපර්යාසයන් අතරින් ඉතාම බලවත් ලෙස බලපාන්නේ මුහුදු මට්ටම  ඉහල යාම හා මුහුදු මතුපිට පෘෂ්ඨයේ උෂ්ණත්වය ඉහල යාමයි. මුහුදු මට්ටම  ඉහල යෑමෙන් ලවණතාව අධික වී, මිරිදිය ජලය අඩුවීම හා කෘෂිකාර්මික බිම් ප්‍රමාණය අඩුවීම සිදුවේ. මුහුද මතුපිට පෘෂ්ඨයේ උෂ්ණත්වය ඉහල යෑමෙන් කොරල් පර මිය යයි. මෙය මේ පරිසරය මත යැපෙන ජීවීන් හට ඍණාත්මකව බලපායි. එබැවින් දූපත්වල ජෛව සුරක්ෂිතතාව හා ආර්ථික සුරක්ෂිතතාව බිඳ වැටේ.

4) ස්වභාවික ආපදාවන් - කුණාටු , සුළි සුළං, ගිනිකඳු පිපිරීම්, පෘථීවි චලන, ලැව් ගිනි, නාය යෑම්, ගංවතුර , නියඟය වැනි ස්වභාවික ආපදාවන් මඟින් දුපත් වලට විශාල බලපෑමක් සිදුවේ.මෙමඟින් වනජීවිහු විශාල සංඛ්‍යාවක් මිය යති. ආහාර නොමැතිව තම වර්ගයා බෝ කිරිමට නොහැකි වීම මඟින් විශාල ආර්ථික හායනයක් සිදුවේ.

5) අධි පරිභෝජනය හා තිරිසර නොවන ලෙස සම්පත් පරිභෝජනය කිරීම - සම්පත් වල අධි පරිභෝජනය මඟින් දූපතක ජෛවවිවිධත්ව හානි  සිදුවේ.

6) පරිසර දූෂණය හා අපද්‍රව්‍ය කළමණාකරණය- ඝන, ද්‍රව  හා කෘෂි රසායන ද්‍රව්‍ය ජලාශ වලට සේදී යාම  පරිසර පදධති වලට ඍණාත්මක බලපෑමක් ඇති කරයි.

ශ්‍රී ලංකාව හා එහි දුපත් ජෛව විවිධත්වය

මයොසීන අවධියේ ශ්‍රී ලංකාව ඉන්දියානු මහද්වීපයෙන් වෙන් විය. එහෙත් මුහුදු මට්ටම පහළ යාමේදී කීප වතාවක් තුලදී සත්තු ගොඩබිම මතින් එහාට මෙහාට සංචරණය කළහ. මේ කාලයේ දී හිමාලය කඳු වැටිය ඉස්මතු වීම, ආසියාතික මහද්වීපයෙන් ශ්‍රී ලංකාව, සුමාත්‍රා හා බෝනියෝ වැනි විශාල දූපත් වෙන් වීම සිදු විය.

ප්ලයිස්ටොසීන යුගයේ අප්‍රිකාවේ නූතන මානවයා ගේ පරිණාමය හා ඔහුගේ ව්‍යාප්තිය සිදුවිය. මේ යුගයේදී සමහර වඳ වී යෑම්, ගල් ආයුධ නිෂ්පාදනය කිරීම, මිනිස් වාසස්ථාන වල වර්ධනය, ශාක හා සත්ත්ව ගෘහස්ථකරණයද සිදුවිය. ප්ලයිස්ටොසීන යුගයට අයත් වඳ වී ගිය ජීවී විශේෂ වන හිපොපොටේමස්, රයිනෝසිරස්, අලි විශේෂ, සිංහයන් හා ව්‍යාඝ්‍රයන්ගේ ෆොසිල රත්නපුර තැන්පතුවේ අදටත් හමුවේ. එහෙත් අදටත් Acavus  Sp (පුවක් ගොළුබෙල්ලන්), Panthera (දිවියා), Melanochelys Sp(ඉබ්බන්),  Canarium(කැකුණ), වැනි විශේෂ විශේෂණය  (speciation) වෙමින් පවතී. ඉන්දියානු මහද්වීපය සමඟ සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාව වෙන් වූයේ අවුරුදු 10,000 ට පෙරය. ඉන්පසු ජීවීන් හුදකලා වී ඔවුන්ගේ ව්‍යාප්තිය සීමාසහිත විය. එවිට, විශේෂණය සිද්ධ වී නව ආවේණික ශාක හා සතුන් බිහි විය. ශ්‍රී ලංකාවේ භූ විෂමතාව හා දේශගුණ විවිධත්වය ජීවීන්ගේ විශේෂණයට දායක විය.

වර්තමානයේ ශ්‍රී ලංකාව හා වෙස්ටන් ගාට්ස් දෙක එක්ව ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් ලෙස හඳුන්වා දී තිබේ. නමුදු, උභය ජීවීන් හා මත්ස්‍යයන් ගේ ජාන අධ්‍යයනය මඟින් ලංකාවේ විශේෂ ඉන්දියාවේ වෙසෙන විශේෂ වලට වෙනස් පරිණාමික විවිධත්වයක් ඇති සත්ත්ව කාණ්ඩයකින් පැවතෙන බව හෙළිදරව් වී ඇත.

2012 ජාතික රතු දත්ත ලැයිස්තුව අනුව ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් ඉතාම ඉහළ  රටක් ලෙස සැලකේ.

උදා-

විශේෂය

ආවේනික සංඛ්‍යාව

මුළු සංඛ්‍යාව

සපුෂ්ප ශාක

894

3154

ක්ෂීරපායි

21

124

උරඟයන්

125

209

උභය ජීවින්

95

111

පක්ෂීන්

27

453

මිරිදිය මත්ස්‍යයන්

50

91

සමනළයන්

26

245

කක්කුට්ටන්

50

51

ශ්‍රී ලංකාද්වීපයේ උතුරු වයඹ දෙස බහුතරයක් කුඩා දූපත් ඇත. උදා -  ඩෙල්ෆ්ට්, කච්චතිව් ආදිය. තවද අභ්‍යන්තර ජලාශ වලද කුඩා දූපත් පිහිටයි. උදා- ගල්ඔය ජලාශයේ ඇති කුඩා දූපත්. මේ දූපත් බහුතරයක් තවමත් අධ්‍යයනය කර නොමැත.

ශ්‍රී ලංකාව වටා ඇති සමහර දූපත් වල විස්තර පහතින් දැක්වේ.

මන්නාරම- ශ්‍රී ලංකාවේ විශාලතම බාහිර දූපත මන්නාරම වේ. මෙය ලංකාවේ ගොඩබිමට සම්බන්ධ වී ඇත්තේ පටු පාරකිනි. මන්නාරම්ද්වීපය 50km2  වේ. මන්නාරමට රාමේස්වරන් දූපත් සම්බන්ධ කර ආදම් ගේ පාලම නැමති වැලි තීරුවෙන් ඉන්දියාවේ තමිල්නාඩුවට සම්බන්ධ වේ. භූවිද්‍යාත්මක සාධක අනුව  මෙය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තිබූ ගොඩබිම් සම්බන්ධකය වේ. මන්නාරම් බොක්කෙහි සතුන් හා ශාක විශේෂ 3600ක් ඇත. කොරල් 117ක් ද මෙයින් වාර්තා වේ. මේ දූපතේ දැනට ජනගහණය 50,000 ක් පමණ වේ. එබැවින් සම්පත් සඳහා තියුණු තරඟයක් ඇත. අධිපරිභෝජනය නිසා ධීවර, මුතු කර්මාන්තයද ක්ෂය වී තිබේ.

තර්ජිත සතුන් අතර කැස්බෑවන්, මුහුදු ඌරන්, තල්මහ, ඩොල්ෆින් වේ. මෙය “Gulf of Mannar”ජාතික වනෝද්‍යානය ලෙස 1986දී ප්‍රකාශයට පත් කරන ලදී. තවද, 1989 දී මිනිසා හා ජෛවගෝල රක්ෂිතයක් ලෙසද ප්‍රකාශයට පත් කරන ලදී.

ඩෙල්ෆ්ට් දූපත -මෙය නිඩන්තිවු ලෙසද හඳුන්වයි. ලංකාවේ දෙවැනි විශාලතම දූපත වේ. එහි දිග 8km වන අතර පළල 6km වේ. දැනට 4800ක ජනගහණයක් වේ.මෙහි අනුරාධපුර යුගයට අයත් නටබුන් ඇත. බෞද්ධ භික්ෂුන් විසූ බවට සාධක ඇත. ඩෙල්ෆ්ට් දූපතෙහි විශේෂයෙන් පාම් (Palm) වර්ග බොහොමයක් ඇත. ඩෙල්ෆ්ට් අශ්වයන් ලෙස හඳුන්වන අශ්ව විශේෂයක්ද වෙසේ. මෙහි අරාබි වරුන් ගෙන ආවේ යැයි සිතන Baobab ගසක්ද ඇත. ජෛවවිවිධත්වය අතින් ඩෙල්ෆ්ට්හි  විශේෂ 146 ක් ඇත. මීට අමතරව සංක්‍රමණික පක්ෂීන් 37ක්ද සටහන් වේ(IUCN) .

කල්පිටිය- පුත්තලම දිස්ත්‍රික්කයේ වයඹ පළාතේ පිහිටා ඇත. මෙය වටා කුඩා දූපත් 14ක් ද වේ. මෙහි මුළු ප්‍ර‍දේශය16.73km2 වේ. මෙහි වෙසෙන්නන්ගේ ජීවනෝපාය ධීවර කර්මාන්තයයි. එහි දැනට සංචාරක ඉලක්කයක් ලෙස සංවර්ධනය කරමින් පවතී. මෙහි ඇති කරදිය අභයභූමියෙහි විවිධාකාරයේ පරිසර පද්ධති තිබේ. එනම්, ලවණ වගුරු, කඩොලාන, වැලි කඳු යනාදිය. සංචාරකයන්ගේ ආකර්ෂණය සිදු වන්නේ ඩොල්ෆින් විශේෂ, තල්මහ, කැස්බෑවන් හා මුහුදු  ඌරන් බැලීම සඳහාය. මෙය ආසන්නයේ බාධක පරය(Bar Reef) පිහිටා ඇත. එය අප රට සතු විශාලම කොරල් පරයයි.

පරවි දූපත් ජාතික වනෝද්‍යානය- නිලාවේලි ආශ්‍රිතව නැගෙනහිර පළාතේ පිහිටා ඇත. මෙය හෙක්ටයාර 471.429 ක් වේ.මේ දූපතෙහි වෙසෙන පරවියන්ගෙන්  (Rock pigeons) දූපතෙහි නම සෑදී ඇත

.alt

නාගද්විපය - මේ දූපත නයනතිවු ලෙසද හඳුන්වයි. මහාවංශයට අනුව බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ දෙවනුවට වැඩි ස්ථානය වේ. (මෙය සොලොස්මස්ථානයන්ට අයත් පුදබිමකි). උන්වහන්සේ චුලෝදර - මහෝදර යන නාග රජවරුන් දෙදෙනකු ගේ සටන නැවැත්වීමට ආ ගමනකි. පුරාණ නාගද්විප විහාරයේ නාග රජුට අයත් මිණිපලඟණක් ඇති බව පැවසේ.

මාදු ගඟ දූපත්- මෙය දකුණු පළාතේ පිහිටා ඇත. මේ කලපුවෙහි දූපත් 15 ක් පිහිටා ඇත. ඉන් විශාලතම දූපත හෙක්ටයාර 39 ක් වූ  මාදූව වේ.මෙහි සත්ව වි‍ශේෂ 248 ත් සිටින අතර සත්‍ය කඩොලාන විශේෂ11 ක් හමුවේ. Lumnitzera littorea (රතමිල්ල) යන කඩොලාන ශාකය මේ මාදු ගඟ පරිසර පද්ධතියේ පමණක් හමුවේ. සංවර්ධන වැඩසටහන් නිසි ලෙස කළමණාකරණය නොවුණ හොත් මෙහි පරිසර පද්ධතිය විනාශ වනු ඇත.

දූපත් ජෛව විවිධත්වය සුරැකීම මෙන්ම එහි සුන්දරත්වය රැකීමට ඔබට කළ හැකි දෑ

1.      වෙරළාශ්‍රිත ස්වාභාවික වැලි කඳු ඉවත්කිරීම හා විනාශ කිරීමෙන් වැලැක්වීම.

2.      වෙරළාසන්න ශාක ප්‍රජාව / කඩොලාන කපා ඉවත් කිරීම හා ගොඩ කිරීමෙන් වැලැක්වීම.

3.      කැලි කසල මුහුදට, ජලාශ තුලට දැමීමෙන් වැලකීම.

4.      වෙරළාසන්න සංරක්ෂක කලාපයෙහි (reservation area ) ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු වලින් වැලකීම.

 

 

 

 

 

අවසන් යාවත්කාලීන කිරීම 2014 අප්‍රේල් 30 වෙනි බදාදා, 13:00